Sunday, August 27, 2017

මුලික ව්‍යාකරණ ග්‍රන්ථයක් නොවන සිදත් සඟරාව

            




 ලිඛිත සිංහල භාෂාව සම්බන්ධයෙන් අද තෙක්ම සම්භාවිත ව පැවත එන ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසන් භාගයෙහි ලිය වී ඇති බැව් පිළිගැනීමයි.
          
                මෙම ග්‍රන්ථය දහතුන්වන සියවසට අයත් ය.
                                                              
                                                  (පේමානන්ද හිමි 2004:61)

සිදත් සඟරාවේ කතුවරයා වශයෙන් පතිරාජදේව පරිවේණාධිපති වේදේහ ස්වාමීන්වහන්සේ  පැවසුව ද ඒ පිළිබදව කතිකාවත් ගොඩ නැගී ඇත.
                                                       (තිලකරත්න 2003:15)

මෙම කෘතිය සිංහල ව්‍යාකරණ අධ්‍යනය සඳහා එදා සිට අද දක්වා ම විශාල රුකුලක් වූ බව නොරහසකි. එයට හේතුව ලෙස සිංහල භාෂාව උගැන්ම වඩාත් පහසු වූයේ සිදත් සඟරාව බිහිවීමෙන් අනතුරු ව බව විමල් තිලකරත්න මහතා සිය ග්‍රන්ථයෙහි ප්‍රකාශකර තිබේ.
 විද්‍යා චක්‍රවර්තීහුගේ කාලයේදී සිංහල ග්‍රන්ථවල ජනප්‍රියත්වයක් දැකගන්නට හැකි විය. සිංහල ගද්‍ය කාව්‍ය සාමාන්‍ය ජනතාව උදෙසාම රචිත බවට කිව හැකි විපර්යාසයක් මෙම කාලයේදී සිදු වූ බව පූජාවලියෙන් හා සද්ධර්මරත්නාවලියෙන් ඔප්පු වෙයි. නමුත් කෝට්ටේ යුගයට එනවිට පද්‍ය කාව්‍ය සුලබ වූයේ සිදත් සඟරාව ඉගෙනීමෙන් බවත් එම නිසා බොහෝ ලෙස පැතිර ගිය පද්‍ය සාහිත්‍යක් එම යුගයේ දක්නට ලැබුණු බව කියවේ.
                                                                    (තිලකරත්න 2003:15)

කිසිදු භාෂාවකට නොදෙවෙනි පරිදි සිංහල භාෂාවේ විවිධ විෂයන් පිළිබදව පොත්පත ලියවී ඇත.


  •  ලෝකයේ මෙතෙක් පහළ වී ඇති ගැඹුරු ම දහමක් වූ බුද්ධ ධර්මය  දේශනා කීරීමටත්,

  •  විසිවන සියවසේ පහළ වූ නවීන විද්‍යාව වැනි විෂයන් හැදෑරීමටත් ඒ පිළිබඳ පොතපත ලිවීමටත්,

තවමත් සිංහල භාෂාව පොහොසත් වී ඇත.

සිදත් සඟරාව සිංහලයේ කාව්‍යකරණයට පමණක් ලියවුණු ග්‍රන්ථයක් යැයි සිංහල උගත් ඇතැම් පඬිවරු තර්ක කළහ.  එහෙත් සිංහල භාෂාව මෙතෙක් දුරට මෙහෙයවීමට තිබුණු එකම ව්‍යවස්ථාව, නීතිපොත නැතහොත් ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාව බව අමතක කළ නොහැකි වේ.
       සියවස් ගණනාවකට පෙර ලිය වූ සිදත් සඟරාව සිංහල භාෂාවේ පැවැත්ම සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදුකර ඇත.
                   සිදත් සඟරාව සිංහලයේ ව්‍යාකරණය සඳහා පමණක් නොව එය ජාතියක් ගොඩනැගීමෙහිලා පුරෝගාමී වූවකි.
                                         
                                      (සුගතවංශ හිමි 1992:පෙරවදන)

මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ,
සිදත් සඟරාව සිංහල භාෂාව පිළිබඳ මුලික ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් නොව කවීන් සඳහාවන හෝ ආධුනිකයන් සඳහාවන රීති සංග්‍රහයක් බව  විමසීමටයි.

01.සිදත් සඟරාව මඟින් කවීන් ලැබූ පන්නරය.

            සිදත් සඟරාව අදියර/ අධිකාර දොළසකින් යුක්තය. එකොළොස්වන හා දොළොස්වන අදියර අනුපිළිවෙලින් 

  •   ඉටු නිටු

  •  ලකර අදියර වේ.

මෙම අදියර දෙකේම අරමුණ වන්නේ පද්‍ය කාව්‍ය බන්ධනය සඳහා ප්‍රායෝගික උපදෙස් සැපයීම බව පෙනලබොඩ පේමානන්ද හිමි සිය ග්‍රන්ථයේ පැහැදිලිව දක්වා තිබේ.
පළමුවන අදියරේ සිට දසවන අදියර තෙක් වූ කොටස් සිංහල ව්‍යාකරණ පිළිබඳ කරුණු දැක්වීමට කැප වී ඇත.
                                        (පේමානන්ද හිමි 2004:62)

ඉති වියරණ දැනැ - කවිවර පදී බඳනා
ඉටු’ නිටු ගණඅකර ඈ - ලකුණු විමසා බඳනේ
                                             (මෛත්‍රිය හිමි 1994:32)

මෙලෙස ව්‍යාකරණ දැනගෙන පද්‍ය රචනා කරන්නා වූ කිවිවරයා ශුභ, අශුභ ගණ අක්ෂර ආදී ලක්ෂණ විමසා දැන කාව්‍ය රචනය කරන්නේ ය.                                                           
                                                (පේමානන්ද හිමි 2004:62)

ඉහත සඳහන අනුව පැහැදිලි වන්නේ සිදත් සඟරා කතුවරයාගේ අභිප්‍රාය වී ඇත්තේ කාව්‍ය රචනයට පිවිසීමට කැමති අය දැනගතයුතු ව්‍යාකරණ රීති පමණක් හඳුන්වා දීමටයි. එලෙස මූලික ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් රචනා නොකොට එය පද්‍ය රචනයට කැමති පිරිසට ගැළපෙන අයුරින් රචනාකර තිබීම දැකගත හැකි වේ.

පදී දුබා දුබා මැද        - සසඳ සඳ සමස් පස්
විබත් කරනු විඳදෝ  - නොරුසිත් රුසිත් විසිදත් 
                                               (මෛත්‍රිය හිමි 1994:33)

පද්‍යයක ද්වීභාග මධ්‍යයෙහි එනම් දෙවන පදය අග සහ තෙවන පදය මුල සංසන්දනයදනයවන සන්ධි,සමාස ,ප්‍රත්‍ය, විභක්ති යන මේවා සිදු කිරීම සෘෂීන්ගේ වචනය දක්නා වූ වියත්හු රිසි නොකෙරෙති.
                                               (පේමානන්ද හිමි 2004:62)

කවීන් සඳහා ලියනලද ව්‍යාකරණ ග්‍රන්ථයක් වුවද මෙහි සෑම ව්‍යාකරණ අංගයක් ම රචනා වී නොමැත. ඒ අනුව තව දුරටත් විමසීමේදී පෙනීයන්නේ සිදත් කතුතුමා සිංහල කාව්‍ය භාෂාව පිළිබඳව අංග සම්පූර්ණ ව්‍යාකරණයක් ලිවීම වෙනුවට, සිංහල මවුබස කරගත් ආධුනික කවීන්ගේ අවධානය කැඳවිය යුතු තමන් සැලකූ ව්‍යාකරණ එක්තරා සංඛ්‍යාවක් පමණක් සිදතෙහි සංග්‍රහකර තිබෙන බවයි. එමනිසා ව්‍යාකරණ ග්‍රන්ථයකින් ඉටුවන කාර්ය අතර  ඉතා සීමිත කොටසක් සිදතෙහි පෙන්වා දී තිබෙන බව පැහැදිලි ය.

 සුගතපාල ද සිල්වා ප්‍රකාශ කරන ආකාරයට සිදත් සඟරාව ලියන ලද්දේ කවි බඳනා රිසියන්ට ඒ සඳහා වචන බඳිනු,වචන කඩනු, වචන දිගස්සනු ආදී නානාවිධ න්‍යාය ධර්ම පද්ධතියක් නීති වශයෙන් දක්වනු පිණිසය.
                                                (පේමානන්ද හිමි2003:63)

ඉහත දැක්වූ තොරතුරු අනුව පැහැදිලිවන්නේ සිදත් සඟරාව කවර හෝ කලක භාෂාවේ භාවිත වූ ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් නොව,කවීන් සඳහා වූ රීති සංග්‍රහයක් වශයෙන් බව පැහැදිලිය.
 මීළඟට සාහිත්‍ය රචනයේ කලාව පිළිබඳ ව කැමැත්තක් දැක්වූ ආධුනිකයන්ට මෙම ග්‍රන්ථය සුදුසු වූයේ කෙසේදැයි විමසමු.

02.කවියට ආධුනිකයන්ගේ  අත් පොතක් වූ සිදත් සඟරාව.

මහඳ ගඳ කිළි කැරැ   - සව් නේ දෙවා දත් හට
දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිදත් සඟරා

සිදතෙහි කතුවරයා ග්‍රන්ථ ආරම්භයේදී ම මෙලෙස දක්වා තිබේ.
“ආධුනිකයන්ගේ දැනුම සඳහා මම සිදත් සඟරාව කරමි.”
                                                   (සිල්වා 1992:654)

සිදත් සඟරාව ව්‍යාකරණ ග්‍රන්ථයක් ලෙස ඇතැම් වියත්හු සැලකූහ. එම නිසා ග්‍රන්ථයේ දුහුනන් ලෙස පෙන්වා දී තිබෙන්නේ සිංහල භාෂාව පිළිබඳ ආධුනිකයන් බව සමහරෙක් වටහා ගත්හ. ඔවුහු සිදත් සඟරාව ලේඛන කලාව උගෙනීමට උපකාර නොවන බව ඉහත තර්කය මත පිහිටා විවේඡනය කරන්නට විය. නමුත් සිදතෙහි කතුවරයා දුහුනන් ලෙස පෙන්වා දී තිබෙන්නේ සිංහල භාෂාව පිළිබඳ ආධුනිකයන් නොව, පද්‍ය බන්ධනයෙහි ආධුනිකයන් ය.
සමහර අයට සිංහල භාෂාව ලිවීමට සහ කතා කිරීමට හැකිය. නමුත් දක්ෂ කවියෙකු නොවිය හැකිය. පේළි හතරක් ගැලපිය නොහැකි පණ්ඩිතයන් කොතෙකුත් අප අතර  සිටීද? එම නිසා සිදත් කතුවරයා පැහැදිලිව දක්වා තිබෙන්නේ දුහුනන් දැනුම ලෙස පද්‍යට ආධුනික වූවන් සඳහා බවයි. එම නිසා කතුවරයාගේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ගද්‍ය භාෂාවෙන් පද්‍ය භාෂාව වෙනස් වූ වැදගත් කරුණු හතරක් මූලිකකරගෙන ඉදිරිපත් කිරීමටයි. එම වෙනස්කම් නම්,
  • හෝඩියේ සංකේත ප්‍රමාණය
  • තාලයට යෝග්‍ය ලෙස වචන වෙනස් කිරීම
  •   එම වචන ගොඩනැගීම (ඡන්දස්, එළිසමය)
  •   ඇතැම් ව්‍යාකරණ ස්වදේශ කිහිපයකුත්
වාක්‍ය වින්‍යාසය හැර සියලු වෙනස්කම් ප්‍රධාන මාතෘකා විස්සක් (20) යටතේ සංග්‍රහ කර ඇත.
                                                                          (සිල්වා 1992:665)

එම වියරණ විධි විස්ස සිදත් සඟරාකරු මෙලෙස දක්වා තිබේ.

“එබැවින් සන් සඳ ලිඟු විභත් සමස් පියෙවි
පසකිරිය ලොපදෙස් ආගම් පෙරරූ දෙරූ පෙරැළි
අඩුවැඩි නිපා නියම් අනියම් අවිදුමන් විදි
වී විසි වැදෑරුම් වියරණ විදි සපයා ”
                                                                       (සිල්වා 1992:658)


මෙලෙස දක්වනලද වියරණ විස්සෙන් සිදත් සඟරා කතුවරයා පෙන්වා දීමට උත්සහා දරා ඇත්තේ ගද්‍ය භාෂාවෙන් පද්‍ය භාෂාවට භාෂාව ගොඩනැගීමේදී ව්‍යාකරණ උපකාරිවන ආකාරයට ය. වාග් විද්‍යාත්මක වර්ගීකරණයට අනුව මෙම විස්ස එකම ස්ථරයකට අයත් නොවේ.ඒ අනුව  ඉහත වියරණ විස්ස ප්‍රධාන අංශ හතරකට බෙදිය හැකිවේ.

01.ශබ්ද ශික්ෂා , ශබ්ද විද්‍යාව හා අක්ෂර විද්‍යාව
02.පද්‍යට උචිත වාග් විද්‍යාත්මක විකෘති කිරීමේ රීති
03.(අ) පද වර්ග
     (ආ)පද විද්‍යාව
     (ඇ)ව්‍යාකරණාත්මක බෙදීම් යනාදිය ඇතළත්        ව්‍යාකරණාමය විශ්ලේෂණය.
         04.සමාස සාධනය

2.1 පද්‍යකරණයට උචිත හෝඩියක් 
සිදත් සඟරාවේ අක්ෂර මාලාව ගොඩනගා තිබෙන්නේ මේ ආකාරයටය.
        
            “ පණකුරු පසෙක් එද
            ලුහුගුරු බෙයින් දසාවේ
            ගතකුරු ද වේ විස්සෙක්
            වහරට යුහු සියබසැ”
                                                                        (සිල්වා 1992:657)
දස පණකුරු
      අ, ආ, ඉ,ඊ, උ, ඌ, එ,ඒ,ඔ,ඕ
විසි ගතකුරු
           
           
            
                
                 අං

තත්කාලීන ග්‍රන්ථ ලේඛනයට අවශ්‍ය මහප්‍රාණ , සංයුක්තාක්ෂර , ඌෂ්මාක්ෂර යනාදිය නොයෙදීම නිසා පද්‍ය සාහිත්‍ය විශේෂ විය. ඒ අනුව සිදතෙහි අක්ෂර මාලාව පද්‍ය සාහිත්‍යයේ භාෂාවට ඉඩ සැලසෙන අයුරින් ගොඩනගා තිබේ.


2.2 අනුස්වාරය වඤ්ජනයක් ලෙස සැලකීම.

සිදත් සඟරා වර්ණ මාලාවෙහි අනුස්වාරය යොදා තිබෙන්නේ ව්‍යංජන අක්ෂර සමග ය. එලෙස දක්වා තිබෙන්නේ අනුස්වාරයේ ඇතැම් නාසික්‍ය වඤ්ජනාක්ෂරයන් නියෝජනයවන බැවින් යයි සිතිය හැකි වේ.


ඟ ‍, හර වැනි වචනවලදී අනුස්වාරය උච්චාරණය වන්නේ ඌණ මාත්‍රික අක්ෂරයක් ලෙසය. රග, බගහර වචන ඉහත උච්චාරණ කාලයට වඩා අඩුය. මෙලෙස ඡන්දසට බලපෑමක් ඇති නොවෙන පරිදි එකිනෙකට ආදේශ වශයෙන් යෙදිය හැකිවන සේ පද්‍යකරණයට පහසු ලෙස අනුස්වාරය යොදා ගෙන ඇත.

2.3 නාසික්‍ය අක්ෂර භාවිතය.

සිදත් සඟරා කතුවරයා නිදසුන් පහකින් නාසික්‍ය අක්ෂර අර්ධානුනසික්‍ය බවට පත්වීම මාත්‍රා හානියක් ලෙස දක්වයි. එය සත්‍යකි. එහෙත්,
ජඞඝා       මාත්‍රා 4                -                      මාත්‍රා 2
ඛණ්ඩ       මාත්‍රා 3               -                සැ     මාත්‍රා 2

ඛන්ධ       මාත්‍රා 3                -                ඳ|      මාත්‍රා 2
බ්‍රහ්ම        මාත්‍රා 3               -                බඹ       මාත්‍රා 2
                                                            
                                                              (පඤ්ඤාසාර හිමි 2004:14)
  
ඉහත උදාහරණ මාත්‍රා අඩුවීමක් පෙන්වා දී තිබෙන්නේ සංස්කෘත හා පාලි තත්භව වශයෙන් සිංහලයට පැමිණීම නිසාය. මෙම සිදත් සඟරාව මූලික ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් ගෙන අධ්‍යනය කිරීමේදී ඉහත දැක්වෙන පරිදි අපහසුතා ඇති වේ.මේවා සිදත් කතුවරයා ගොඩනගා ගෙන තිබෙන්නේ පද්‍ය රචනයට උදව්වක් වශයෙනි.

2.4 ඡන්දස් රැකීම සඳහා වාග් විපර්යාසමය රීති අනුගමනය කිරීම.

සිදත සඟරාවෙහි සඳහන් සඳ , ලොප් , අදෙස් , ආගම් , පෙර රූ , දෙරූ, පෙරැළි , වැඩි , අඩු , නියම් , අනියම් , අවිදුමන් , යන මාතෘකා දොළහ වාග් විපර්යාසමය රීති හා සම්බන්ධය.
                                                                         ( සිල්වා 1992: 663)

මෙම වියරණ විධි දොළහ සිංහල ව්‍යාකරණ අධ්‍යනයන් සඳහා බොහෝ ආචාර්යවරු උගන්වති. මෙම වියරණ සිංහල භාෂාවේ පද්‍ය විපර්යාසයන් සඳහා අදාළ වූ රීතින්වන අතර මේවා ඕනෑම විෂය මට්ටමක ව්‍යුහයන් ලෙස සලකා ඉගෙනීම නොකළ යුතුය. 
වචනයක් විවිධ ආකාරයට කෘත්‍රීමව වෙනස් කළ හැකි වේ.
මෙවුල යන වචනය ඡන්දස අනුව  මෙවුල
                                                   මෙවුල්ල             
                                                    මෙවුල්ලා

යනාදී වශයෙන් වෙනස් විය යුතුබව සිදත් සඟරා කතුවරයා එම විපර්යාසය නිසිවිදිනි ලෙස දක්වා තිබේ. එමගින් අදහස් කරන්නේ සුදුසු ආකාරයට යන වගයි.
සුදුසු ආකාරයකට කරන ලද නිසා පැරණි හා නව කවීන් දෙපිරිස ම විසින් කරනලද කෘත්‍රීම වචන විපර්යාසයන් විචාරකයන්ගේ හෙලා දැකීමට ලක්නොවීය.
                                                                           (සිල්වා 1992:664)

ඡන්දස හේතුවෙන් රාහුල හිමි මෙවැනි විපර්යාසයක් සිදුකර තිබේ.
                 ළකල පුළුලුකුල බඳ මිණි මෙවුල්ලා........”

මෙම වෙනස් කිරීම සිදුකර තිබෙන්නේ සිංහලයේ සමුද්‍රඝෝෂ විරිත මගින් නියම කරන ලද මාත්‍රා දාහත රැකගැනීම සඳහාය.මෙලෙස සුදුසු ආකාරයට පද විපර්යාසය පද්‍ය සාහිත්‍යට අත්‍යවශ්‍යවන අතර එය ව්‍යාකරණානුකූලව නිවැරදි නොවුණත් එලෙස සිදුකළ යුතු වේ.                    

2.5  සිංහල භාෂාවේ ඉතිහාසයට අදාළ ලේඛනවලින් කරුණු දැක්වීම.

පද්‍ය නිර්මාණ කරන ආධුනිකයන්ට වෙනස් කිරීමේ නිවැරදි ආකාරයක් අධ්‍යනය කිරීමට අවශ්‍ය වුවහොත් පිළිගත් ලේඛකයන්ගේ නිර්මාණ අධ්‍යනය කිරීමට සිදු වේ. එය කතුවරයා මෙලෙස සිදතෙහි දක්වා ඇත.
“අනුරූ සේ පියෝණන්.....”
පැරණි ප්‍රසිද්ධ ලේඛකයන්ගේ භාවිතය අනුව
ඉහත මාතෘකා දොළහ යටතේ දී ඇති විපර්යාසයන් ස්වභාව සිද්ධ වචන සකස්වීම් නොවේ.
සිදත් සඟරාවේ එන සන්ධි සිංහලයේ සකස් වූ සන්ධි විදි නොවේ.
ලෝප ආදිය ද  සකස් වී ඇත්තේ එලෙසමය.



2.5 පද්‍යකරණයේ පහසුව සලකා සන්ධි විග්‍රහ කිරීම.

මෙහෙසුරු යන පදය සිදත් සඟරාවේ සන්ධියක් ලෙස දක්වා ඇත. මෙය මහා + ඊශ්වර ලෙස සංස්කෘතයෙන් බිදී ආ පදයකි.මෙය සිංහලයට පැමිණෙන විට මෙහෙසුරු වේ. එහි මාත්‍රා හතරකි.එහි මාත්‍රා වැඩිකර ගැනීමට අවශ්‍ය වන්නේ නම් මහා+ඉසුරු ලෙස විසන්ධි කරගෙන තිබේ.
මෙහෙසුරු යන්නෙහි කෘත්‍රීම විසන්ධි කිරීමක් මහා+ඉසුරු ලෙස යෙදීම සන්ධිවලට ඉදුරාම විරුද්ධ ක්‍රියාවලියකි.එහෙත් එලෙස වාග් ව්‍යවහාරයක් විසන්ධි කිරීම පද්‍යකරණයේ අවසර ඇති ක්‍රියාවකි.  
                                                                           (සිල්වා 1992:665)
සිදත් සඟරාවෙහි අන්තර්ගත සියලු සන්ධි විග්‍රහයන්ට පාදක වී ඇත්තේ එවක පද්‍ය ව්‍යවහාරයේ පවතී බාහිර සන්ධි හෙවත් අනිත්‍ය සන්ධි පමණි. නිත්‍ය සන්ධි පිළිබඳ ව සිදතෙහි සදහන් නොවේ.
                                                              (පඤ්ඤාසාර හිමි 2004:58)
මෙලෙස සිදත් සඟරාවෙහි සන්ධි කාර්ය සිදුකර තිබෙන්නේ පද්‍යයට යොදාගත හැකිවන ආකාරයටය.මේනිසා සන්ධි ව්‍යාකරණ පිළිබඳව මූලිකවම ඉගෙනගන්න කෙනෙකුට මෙමගින් ගැටළු ඇතිවන අතර පද්‍යකරණයට ආධුනිකයන්ට මෙමගින්  සිදත් සඟරා කතුවරයා යම් සාධාරණත්වයක් ඉටු කර තිබේ.


2.6 ලිංගාධිකාරය ලිංග දෙකකින් පමණක් දැක්වීම.

සිදත් සඟරා කතුවරයා සලකන්නේ ලිංග දෙකක් පමණි.

“මේය මෝය යන වහරට කරුණු වූයේ ලිංගු නම් ”

මේ (පුරුෂයෙකි) මෝ (ස්ත්‍රියකි) යනුවෙන් ව්‍යහාර කිරීමට කරුණු වූ ශබ්ද ලක්ෂණය ලිංග නම් වේ.

සිදත් සඟරා කතුවරයා ලිංග දෙකක් දැක්වුව  ද පැහැදිලිව ම වර්තමාන භාවිතය අනුව සිංහලයේ ලිංග තුනක් ඇත. මෙලෙස දක්වා තිබෙන්නේ කව්‍යකරණය සඳහා සිය කෘතිය රචනා කළ නිසා ප්‍රාණාරෝපණනයක් සිදුකර ලිංග දෙකක් පමණක් දක්වා තිබේ.

කුසුමන්, මිනිදුරුණු , පල්ලන්
ලෙස සිදතට පෙර ලිය වූ සසදාවත, මුවදෙව්දාවත ආදී ග්‍රන්ථවල දක්වා තිබේ.
   
ඉහත විස්තර කිරීම්වලට අනුව පැහැදිලිවන්නේ සිදත් සඟරාව මූලික ව්‍යාකරණ ග්‍රන්ථයක් ලෙස ගැනීමේදී ගැටලු රාශියක් පැනනගින බවයි. කුමාරතුංග මුනිදාස ප්‍රමුඛ හෙළ හවුලේ පඬුවන්  විසින් සිදත් සඟරාවේ අඩු පාඩු නිර්දය ලෙස විවේචනය කර ඇතිබව ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි වරක් ප්‍රකාශ කර තිබේ. ඒ කෙසේ වෙතත් ඉහත උදාහරණ මගින් පැහැදිලිවන්නේ සිදත් සඟරාව ව්‍යාකරණ ග්‍රන්ථයක් ලෙස සෑම අතින් ම සාධාරණ නොවන බවය. එය විශේෂයෙන් ම කතුවරයා ලියා තිබෙන්නේ ආධුනික පද්‍ය රචකයන් සඳහා බව ඉහත උදාහරණ මගින් පැහැදිලි වේ.                        


 පරිශීලිත මුලාශ්‍රයන්
Ø කොස්ගොඩ සුගතවංශ හිමි 1992 , සන්න සහිත සිදත් සඟරාව , කොළඹ 10 , ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.
Ø මෛත්‍රිය ආනන්ද හිමි 1994 , සිදත් සඟරාව (පෙළ පමණි), නුගේගොඩ, මොඩර්න් පොත් සමාගම.
Ø තිලකරත්න විමල් 2003 , සිංහල සාහිත්‍ය වංශය හා හෙළ ගත් කතුවරු , ගනේමුල්ල , උදය ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස්.
Ø පේමානන්ද පෙනලබොඩ හිමි 2004, සිංහල භාෂාවේ පරිණාමය හා සිදත් සඟරාව ,  කොළඹ 10 , ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.
Ø පඤ්ඤාසාර ඔක්කම්පිටියේ  හිමි 2004 , සිදත් සඟරා විමසුම, කර්තෘ ප්‍රකාශනයකි.

Saturday, August 5, 2017

ලක්දිව සෙල්ලිපිවල දක්නට ලැබෙන පද්‍ය නිර්මාණ



ලක්දිව සෙල්ලිපිවල දක්නට ලැබෙන පද්‍ය නිර්මාණ



              
                  ලංකාවේ ඓතිහාසික මුලාශ්‍ර අතර සෙල්ලිපි වඩාත් විශ්වසනීය සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි ප්‍රබල මාධ්‍යකි. මුල්කාලීන සෙල්ලිපි අතර ලෙන්ලිපි බොහෝ ස්ථානවල දක්නට ලැබුණි. එම ලෙන්ලිපිවල තිබෙන තොරතුරු බොහොමයක්
                           
                             01.සංඝරත්නයට ගම්වර පූජා කිරීම
                             02.වෙහෙර විහාර පූජා කිරීම
        ආදිය වෙනුවෙන් ලියා තිබේ.

                         ලංකාවේ  හමු වූ මුල් කාලීන  සෙල්ලිපි ලියා තිබෙන්නේ බ්‍රාහ්මී අක්ෂරවලිනි. මිහිඳු හිමි ලංකාවට බුද්ධාගම හඳුන්වා දීමෙන් අනතුරුව විධිමත් අක්ෂර භාවිතයක්  දැක ගන්නට ලැබුණි. නමුත් ඊට පෙරත් අක්ෂර භාවිත වූ බවට සාධක හා පුරාවෘත්ත හමු වේ.   
                 
                        ක්‍රි.පූ.තුන්වන සියවසේ සිට ම සෙල්ලිපි ලියවුණි. ඒවා අතර බොහොමයක් ගද්‍යමය ස්වරූපයෙන් හමු වේ. නමුත් ලාංකේය සෙල්ලිපි ඉතිහාසය සොයන කෙනෙකුට පද්‍යමය සෙල්ලිපි අතහැර යා නොහැකිය. ලාංකේය ඉතිහාසය ගද්‍ය හා පද්‍ය ආකෘතියෙන් ලියවී තිබේ. සියවස් ගණනාවක් පුරා වර්ධනය වූ පද්‍ය සාහිත්‍යයක් ලාංකිකයා සතුව පවතී. භාෂාව වඩාත් මටසිළුටු මෙන් ම වින්දනාත්මකව ඉදිරිපත් කිරීමට පද්‍ය සාහිත්‍යයට හැකියාව ඇත. ඉතිහාසය පිරික්සීමේදී විවිධ හැඩතල ගනිමින් විවිධ ආකෘතිවලට පද්‍ය සෙල්ලිපි ලියවී තිබුණු සාක්ෂි හමු වේ.

             වර්තමානයේ හමු වී තිබෙන සාධකවල නිරවද්‍යතාවය මත සිංහල පද්‍යයේ  ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය තෙක් පැරණි යැයි කීමට ද  හැකි වේ. අදටත් දක්නට ලැබෙන  සෙල්ලිපි ඊට සාක්ෂ්‍ය සපයයි.

                                           කොස්සොගම කන්ද
                කිරින්ද
                තිස්ස
                අකුරුගොඩ
                කුසලාන්කන්ද
                හඹුතගල
                කරඳපොල
                                        කොරතොට
                                         නුවරකන්ද

ආදී ස්ථාන කිහිපයකින්ම පූර්ව බ්‍රාහ්මී යුගයේ මුල් කොටසට අයත්වන පද්‍යමය ලිපි හමු වී තිබේ.
                                                                                           (අමරවංශ හිමි : 1969 : 58)

             කොත්මලේ අමරවංශ හිමි රචිත ලක්දිව සෙල්ලිපි යන ග්‍රන්ථයේ දක්වා තිබෙන්නේ පද්‍ය සෙල්ලිපි පිළිබඳව නිශ්චිත කාල නිර්ණය කිරීමක් සිදු කිරීමට නොහැකි බවයි.  එය  විද්‍යාත්මක ක්‍රමානුකුල පර්යේෂණයක කරුණුමත පිහිටා සිදු කිරීමට  ද අපහසු වේ.නමුත් මෙම ගී ලිපිවල සටහන් වී ඇති ලිඛිත සාක්ෂි මත එම සෙල්ලිපි ලියා තිබෙන්නේ කිනම් රජ කෙනෙකුගේ කාලකදී ද යන්න තොරතුරු හදුනාගත හැකි වේ.ඊට දැක්විය හැකි සාධක දෙකකි.


  •           කිරින්ද කුසලාන්කන්ද ගී ලිපිවල සඳහන් ‘නග’ මහරජු දෙවනපෑතිස් රජුගේ සොහොයුරෙකු වූ රුහුණට පැනගිය ‘මහානාග’ නම් උපරජු යැයි දැක්වේ.


  1.  කොස්සොගම ලිපියේ එන ‘ගමණි අභය දෙවනපිය’ දෙවනපෑතිස් රජු යැයිද තීරණය කළහැකි වේ
                                                          (අමරවංශ හිමි : 1969 : 58)


ඉහත සඳහන් තොරතුරු අනුව එම සෙල්ලිපි පැරණි ම සෙල්ලිපි ලෙස දැක්වීම සාධාරණය. ඊට හේතුව ලෙස අමරවංශ හිමි දක්වන්නේ දෙවන පෑතිස් රජු හා මහානාග රජු ක්‍රි.පූ .තෙවන ශතවර්ෂයට අයත් බවය. තව දුරටත් උන්වහන්සේ පරණවිතාන මහතාගේ මතයක් ගෙන ඒ බව සනාථ සඳහන් කරයි.
  
එම මහාදාඨික මහා නාග රජු ක්‍රි.ව. පළමුවන ශතවර්ෂයට අයත්වන බවත්,

කථිකාචාර්ය ටී.බී.කන්ගහාරච්චි මහතා දක්වන පරිදි එම රජු ක්‍රි.පූ.දෙවන ශතකයට අයත්වන වන දුටුගැමුණු රජු යැයිද  විශ්වාස කළ හැකි බවත් දක්වයි.

           සෙල්ලිපිවල දැක්වෙන පද්‍යමය සෙල්ලිපි ක්‍රමය ඉතා ඈත අතීතයකට උරුමකම් කියනබව ඉහත සාක්ෂි අනුව පැහැදිලි වේ.සංදේශවල එන අතිවිශිෂ්ට නිර්මාණ දක්වා ලාංකේය පද්‍ය රචකයා දියුණු වුයේ මෙතරම් අතීතයක සිදු වූ නිර්මාණවල පන්නරයෙන් බව පැහැදිලි ය. ඈත අතීතයේ සිටම ලාංකිකයා තම අදහස් ප්‍රකාශ කිරීමට කවිය බොහෝ අවස්ථාවලදී භාවිතාකර තිබේ.

  v අණබෙරකරුවන් රජුගේ සංදේශය කාව්‍යාත්මක ව ඉදිරිපත් කර                තිබේ.
  v යන්ත්‍රමන්ත්‍ර සිදුකර තිබෙන්නේ තාලයට ගායනා කරමිනි.
  v බලිතොවිල් ආදී යාතුකර්මවල පවා ගායනා දැකගත හැකි වේ. 
  v හේනේ පැලේ,කමතේ දිවා රෑ වෙහෙස නිවුණේ ද , නොනිදා රැය               පහන් කළේද ජන කවියෙනි.
  v කැලෑ පත්තරය පවා ගැමියන් අතර ප්‍රචාරය වූයේ කවියෙනි.
  v කවි කොළය මගින් රට වැසියා දැනගත් තොරතුරු බොහෝමයකි.

     මෙලෙස  විවිධ හැඩතල ගනිමින් පද්‍ය නිර්මාණ බිහි වී තිබේ.එම නිර්මාණවලට පසුබිම පද්‍ය සෙල්ලිපිවලින් ද ගොඩනැගෙන්නට ඇත.ඒ අතර පැරණි ම පද්‍ය සෙල්ලිපිය හමුවන්නේ කොස්සොගම කන්ද විහාර පාමුල ලිපියෙනි.


-කොස්සොගම කන්ද ලිපිය-             

මහරඣහ ගමණි - අබයහ දෙවනපිය
රමණි බරිය මිලක තිශ - විහාරෙ කරිතෙ කතිය


අදහස -  දේවානම්ප්‍රිය ගාමිණි මහරජුගේ රමණීය භාර්යාව වූ කති (කතිය බිසව )  විසින් ‘මිලක්ඛතිස්ස’ විහාරය කරවන ලදි.

     මෙය ලාංකිකයා සතුව තිබෙන පැරණි ම ගීය ලෙස පෙන්වාදීමට හැකිවනවා සේම, පද්‍ය සාහිත්‍යයේ ඇරඹුම ලෙස සැලකිය හැකි වේ. මෙලෙස දැක්වෙන ලිඛිත මූලශ්‍රයක්  පද්‍යමය මූලශ්‍රයක් ලෙස තෝරා ගැනීමට නම් එහි දැක්වෙන පද්‍යමය ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. ඒ අනුව ඉහත ගීතයේ තිබෙන පද්‍යමය ලක්ෂණ අමරවංශ හිමි මේ ආකාරයට දක්වා තිබේ.

  v  මෙම ගීයෙහි පාද සතරෙහි 8-10-11-10 ලෙස මාත්‍රා දී ඇත.


කිරින්ද ලිපියද ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන ලිපියකි.

-කිරින්ද ලිපිය -

අපරිමිතෙ ලෝකාහි බුද්ධ
සමෙ නති අට්ඨාන පරම දුලබෙ
සවඤත පතෙ අනුතර සථෙ
මහසරණෙ ලෝකචත බුධ නම
                                        -සයභූ-


    අදහස - අටවැදෑරුම් ආර්ය පුද්ගලයන් අතුරෙන් අතිශයින් දුර්ලභ වූ, සර්ඥ බවට පැමිණි නිරුත්තර ශාස්තෘ වූ මහසරණ හෙවත් මහත් පිහිට වූ , ලෝකයට ඡත්ත්‍රයක් බඳු වූ නොහොත් සසර ඉක්ම වූ (පරෝපදේශ රහිත ව තමාට චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කළහැකි බැවින්) සයම්භූ බුද්ධ නම් වූ බුදුරජුන් සමාන උතුමෙක් අපරිමිත ලෝකයෙහි නැත.

                                                                                             (අමරවංශ හිමි : 1969 : 59)
             

 
-තිස්සමහාරාම ටැම් ලිපිය-
                  
                ලක්දිව ධර්මද්වීපයක්  ලෙස නම් කිරීමට හේතු වූ කරණා රාශියකි. ඒ අතරින් ප්‍රබල වූ දෙයක් හෙළ සිංහලයා සදා නොමැකෙන සේ ගලේ කොටාම දක්වා තිබේ. එනම් තමන් සතුව තිබෙන ධන ධාන්‍යයෙන් හා ඉඩකඩම්වලින්  කොටසක්  බුදු සසුන ආරක්ෂා කරන සංඝරත්නයට පූජාකිරීමට හැමවිටම උත්සුක වී කටයුතු කරන බවය.අතීත රජවරු  ගම්වර පූජාව ලෙස සිදු කළේ ද මෙම කාර්යමය.එලෙස පූජා කළ ඕනෑම දෙයක් චිරාත් කාලයක් පවතින පරිදි ගලේ කොටා ශිලා ලේඛන ලෙස ඉතිහාසයට එක්කර තිබේ.එම ශිලා ලේඛන  ලංකාවේ විවිධ ස්ථානවල පද්‍යමය ආකාරයෙන් ද මෙලෙස ලියා තිබේ.


කරඳපොළ (අංක 3) ගී ලිපිය

හබුතගල විහරති - කකවණතිශෂ මහරජහ
උවසික මතු තුමහ වැවී - සගදිනෙ ම  (හ)
                                                       ව------



අදහස - කකවණතිශෂ තිස්ස මහරජුගේ හබුදගල විහරාහි සංඝයාට මත (මත්ත) උපාසිකාව තමාගේ මහව --------- වැව, දුන්නාය.
9-11-,11-(11) වශයෙන් මාත්‍රා යෙදී  ඇති මෙය යහ ගීයකි.


-කරතොට ගී ලිපිය-

පරුමක ශුමන පිත                 -       පරුමක ශුමනහ ලෙනෙ
_ _ _ _ _ _ _ _ _         =9               _ _ _ _  _ _ _ _   _ _        =10
අගත අනගත චතුදිශ              -       ශගශ දිනෙ මහපදශන නම
_ _ _  _ _ _ _ _ _ _ _  =11             _ _ _ _ _  _ _ _ _ _ _ _ _  =13
  

 
අදහස - ප්‍රමුඛ සුමනගේ පුත්‍රයා, ප්‍රමුඛ සුමනගේ මහපදසන නමැති ලෙන පැමිණි නො පැමිණි සිවු දිග සංඝයාට දෙන ලදී.

9-10-11-13 බගින් මාත්‍රා යෙදී ඇති මෙය දුවඟ ගීයකි.

(අමරවංශ හිමි : 1969 : 60)




-නුවරකන්ද ලිපිය-


දිගලෙ ගවක ශුමන
පුත රද බුතිය ලෙනෙ
අගත අනගත චතුදිශ
 ශගශ දිනෙ දනු අචරියහ

 
අදහස - දීගල්ලේ ගෝපක  සුමනගේ පුත්‍ර රාජභූතික තෙමේ ධනුරාචාරීන්ගේ ලෙන  පැමිණි නො පැමිණි සිවු දිග සංඝයාට දෙන ලදී.



-ගල්පොත සෙල් ලිපියේ අවසන් කව-


දහම් නමේ මේ ලෝ මුළු සගන්නෙ                යැ
සිත දෙලෝ සැපත් අදරැති කරනෙ                 යැ
මතුවන රජවරුන් මෙසේ ඇයැදැනෙ              යැ
කළිඟු ලකින්දු  නිසැක රජ ගුණ නන්දනෙ      යැ

 
අදහස - ධර්මය මේ මුළු ලෝ වැසියන්ට සංග්‍රහ කිරීමය යි සිතා දෙලොව සැපතට ආදරය කළ යුතුය. ගුණ නන්දන වූ  කාළිංග වංශික නිශ්ශංක (මල්ල) ලංකාධිපති රජු මතු රජවන රජුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියි.

   
        මෙය නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරු හැටදගේ පළමුවන පදාර ලිපියේ ඇත.1-2-3 පාදවල මාත්‍රා 17 බැගින් හා 4 වැනි පාදයේ මාත්‍රා 19 ක් ද ඇත. මෙබඳු වර්ණ වෘත්තවල විෂම මාත්‍රා පාද යෙදීම සිරිත නොවේ.

(අමරවංශ හිමි : 1969 : 61)



        ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ ලිපිය පළවන තුරු පැරැණිම සිංහල රචනා නිබන්ධ කරන ලද විරිත් පිළිබඳව නව යුගයේ පාඨකයන්ට කිසිම දැනීමක් නොතිබිණ‌.   ම පර්යේෂණවලින්    ගලෙහි කෙටූ ගීවල විස්‌තර හෙළි පෙහෙළි වන්නට වූ අතර කුසලාන්කන්ද, කරඳපොළ යන ස්‌ථානවලින් සහ තවත් තැන් කිහිපයකින් සොයා ගන්නා ලද ගලෙහි කෙටූ ගීවල විරිත් ලකුණු දක්‌නට ලැබීමෙන් ඒවා  විචාරක ඇසට හමුවිය.
                                                          
                                                             (දිවයින:2014.03.20)


- තෝපා වැව වාන් ඇළ සෙල් ටැම් කවි  -


මිණිමුතු නිල්මරා පුස්රා ගොමේ ද වෙරළු
                                                              විදු   රා
  පබළු නන් අඹරණ සළු සුවඳ  මලබුලත්
                                                              කපු රා
මෙයින් යෙදී හුනද අඟර නොලද හෙ
                                                 නො මන හා රා
බතුපයැ  කළිඟු නිරින්දු නුවනින් වින්දු
                                                                  ඉසුරා



අදහස - මැණික්, මුතු, නිල්මරකත, පුෂ්පරාග, ගෝමේද, වෛදූර්ය, දියමන්ති, පබළු, නා නා ආභරණ , සළු ,සුවඳ , මල්බුලත් , කපුරු, (යන) මේවයින් සැරසී හුන් නමුත් අඞ්ගරාග හෙවත් සුවඳ ආලේප නොලද හොත් හේ මනහර නොවේ. එමෙන් රජෙකු අවශ්‍ය පරිදි ඉටුකළයුතු බත් ඉපදවීම නුවණ මෙහෙයවා කරවා රජතුමා රජසුව වින්දේ ය. 


(අමරවංශ හිමි : 1969 : 62)


                      අතීතයේ යෙදුණු විරිත්,එළිසම,පද බෙදීම වචන භාවිතය ක්‍රමක්‍රමයෙන් වෙනස් වී තිබෙන බව ඉහත සෙල් ගීවලින් මනාව පැහැදිලි වේ.එලෙස පරිණාමීය යුග පෙරළියකට පසු පද්‍ය සාහිත්‍ය නිසඳැස දක්වාම විකාසනය විය. පසු කාලීනව ඉදිරිපත් වූ සෙල්ලිපි පද්‍ය ඉතා මනරම් වූ පද්‍යමය ආකෘතිවලට සෑම අතින්ම උසස් ලෙස රචනා කර තිබේ.එය තව දුරටත් ලාංකේය සීගිරි ගී නිර්මාණ කරුවන්ගේ නිර්මාණ ඇසුරු කිරීමේදී සනාථ වේ.
            පාලි සකු ආභාසය ඇතිව ගොඩනැගුණු පොතපතට වැඩි නැඹුරුතාවයක් මුල් කාලයේ දැකිය හැකි වන්නේ කුමාරදාස රජුගේ “ජානකීහරණය” මහා කාව්‍යයෙනි. මෙලෙස සංස්කෘත ආභාසය ප්‍රකටවන අතර සිංහල භාෂාවේ ලිඛිත සාධක දැකිය හැකිවන්නේ ක්‍රි.ව. හත්වන සියවසෙන් පසුවය. එහි විශිෂ්ටතම නිර්මාණ දැකිය හැකි වන්නේ සීගිරි පද්‍යවල  සටහන්ව ඇති සිංහල පද්‍ය සාහිත්‍ය ලක්ෂණ මතය.අටවැනි හා නවවැනි ශතකයන්හි භාෂාවට ආදර්ශ වශයෙන් සීගිරි පද්‍ය හේතු වූ බව පැහැදිලි වේ.


        මන කා නොගන්නි ලයු බැලුසඳ සිහිගිරි
        වියොවුන් වුයු සියොව් සියෙවුන් වතත් කුම් කියන්නෙයි.



                       
අදහස- සීගිරි බැලුසඳ (එය) කාගේ සිත ඒකාන්තයෙන් නොගනී ද? (එයින්) වියොගීන් සඬ්ගතවන කල්හි  සඬ්ගතයන්ගේ පැවැත්ම ගැන කියන්නේ කුමක්ද?



     මත් බමරු’ගුළ ඇවිලි නො මන්ද් ලොළ වී කිහිමූ
     ගමම්නී මල්කෙසුර් නොසුකසු කළ’යි          හැමූ
     කුමු න්ද්වන විද්හෙ වී සරාසිසිරැස්                 හමූ
     නුයුළ වී ඇය නැති’ යි එයි නොවී අපි             යමූ

 
අදහස-මත් වූ බමරා කුසුමයන්හි ලොල් වී උගුලෙහි අසුවිය.(=පර වී යන මල ඇතුළෙහි හිර වී ය.)(ඌ) ගුමමින් (=ගුමු ගුමු යන නාද කරමින් ) මල් කෙසුර (ඌ) අසුඛයෙහි අසු කළැ’යි (සිතා) එය හැපීය. සරා  සඳරැස් හමු වූ කුමුදු වනය විදහුණේය. (පිපුණේය)(එහෙත්) ඕ තමෝ අනුකූල නොවුවාය.(එහෙයිනි) එසේ නොවී අපි යමු.


(පරණවිතාන:  1972 :105)
       
         කොමුඩ් අමඩ් ලෙඩ් නිනසී
        එබොන්ද මියුර්      යහබැසී
        එකපල් දළවන්         දිගැසී
        මන ජල්වයි සිත්    නොමසී

 


අදහස- ඇයලූ කෝමල සිනාව කොමඩු ගෙඩියක බිජුපෙළ මෙනි. ඇගේ ප්‍රිය තෙපළ ඒ කොමඩු ගෙඩියෙහි පිට පොත්ත මෙනි. මා හද දල්වයි. සිත නොමදයි.

  v චිත්තරූප,එළිවැට,උපමාලංකාරය සරල වාක්‍ය මගින් දක්වන ව්‍යංගය
  v එක සමාන අකුරු හෝ වාක්‍ය මගින් ඇතිකරවන අනුප්‍රාස රසය
  යනාදිය ඉතා අපූර්ව ලෙස සීගිරි කවියා ඉදිරිපත් කර තිබේ.

                      සියබස්ලකර  හෝ එළුසඳැස්ලකුණ වැනි කාව්‍ය බිහි නොවී තිබූ යුගයක පවා පද්‍යයේ අන්තර්ගතය අපුර්වත්වකින් ඉදිරිපත් කරයි.එලෙස කාව්‍යලංකාර බිහි වී නොතිබූ යුගයකදී පවා සිංහල කාව්‍ය ඡන්දස් අලංකාර අතින් සිංහල කවිය පොහොසත් වූබව ප්‍රකට කරන්නේ සම්ප්‍රදායන්ගේ මූලබීජ හෙළයන්ගේ නිර්මාණවල ගැබ්කරවමිනි.
           
             පීන පයෝධර
            ලලිත සාරසරවිතතනු මධ්‍යා
            නිලේන්දිවරනයන
            කේයං මනෝරමා රාමා


මෙම සීගිරි ගී නිර්මාණ බිහිවීම කෙරෙහි බොහෝ ලෙස බලපා තිබෙන්නේ ගිහිපැවිදි උගතුන් හා සාමාන්‍ය ජනතාව සීගිරිය නැරඹීමෙන් තම චිත්ත සන්තානයෙහි ඇති වූ භාවමය හැඟීම්ය. එම අදහස් සීගිරි කැටපත් පවුරෙහි සටහන් වී තිබෙන්නේ  නරඹන්නන්ගේ රසවින්දනාත්මක ද්වාරය  විවර කරමිනි. බොහෝ කවි නිර්මාණය වී තිබෙන්නේ සීගිරිය නැරඹීමට ගිය ප්‍රේක්ෂකයන් තම මතකය කැටපත් පවුරෙහි නොමැකෙන සේ ඉතිරිකර පැමිණීම නිසාය.
               


අදහස - පුන් පියවුරු බරදරනා රසනා දාමයෙන් හොබනා වූ ඉඟටිය නිලුපුල්වන් නුවනින් යුතු මේ සොඳුරිය කවු ද?


ඉහත කවිය මගින් සිතුවමට පමණක් සීමා නොවූ  සීගිරි අප්සරාවන්ට ප්‍රාණය පවා ලබා දෙමින් ගීත නිර්මාණකරුවන් ලංකේය සෙල්ලිපි පද්‍ය ඉතිහාසය තවත් දිශාවකින්  ප්‍රතිනිර්මාණයකර තිබේ.අනුරාධපුර ධාතුසේන රජුගේ පුත් කාෂ්‍යප රජුගේ බලකොටුව වූ සීගිරිය ඔහුගේ මරණින් පසු ව දේශීය ජනයාගේ පමණක් නොව විදේශිකයන්ගේ ද සංචාරක සන්දිස්ථානයක් විය.
         


           යෙමින් ගමනක් සිහිගිරි කැටි විතට නැගී
           ලියා ලයිම ගියත් මිලැසියකට බිතට සෝබන

 
අදහස - පුන්සඳ උදා වූකල ජලය හැදෙන සමුදුර නොසිටන සේ ගුණ භජනය කරන්නෝ සොඳුරු ළදුන් නිසා නොබැඳී පවතින්නාහුද? 
                                      
                           මෙලෙස සීගිරි ගී නිර්මාණයේදී තම සිතට නැගෙන අදහස් ඉතා අලංකාර ලෙස පද්‍යනුසාරයෙන් ශිලාගතකර ඇත. එම පද්‍යවල තිබෙන එළිසමය,ව්‍යංග්‍යාර්ථ,උපමා, රූපක මගින් පද්‍යමය ආකෘතික ලක්ෂණ උත්කෘෂ්ට ලෙස ආරක්ෂාකර තිබෙන බව පැහැදිලි වේ.තම සිතට නැගුණු අදහස් නොමැකෙන සේ  කාව්‍යාත්මකව චිරාත් කාලයක් පැවතෙන පරිදි ආදී කාලීන සීගිරි ගීත නිර්මාණ ශිල්පියා මෙලෙස සනිටුහන් කර තිබේ.

                                   කැලෑවට සිමා වී දඩයමේ ගිය මානවයා තම අදහස් අනෙකා සමග බෙදා ගන්නා මාධ්‍යක් ලෙස චිත්‍ර භාවිතා කරන්නන්ට විය. මෙලෙස තමා එදිනෙදා ලබාගත් අත්දැකීම් අනෙකා සමග බෙදා ගත්තේ ගල්ගුහාවල එම අත්දැකීම සිතුවමට පරිවර්තනය කරමිනි. එය තවත් පරිණත වී අක්ෂර භාවිතාකර යම්  අත්දැකීමක්  සදාකාලික පවතින දෙයක් බවට පත් කරමින් ගල්වල,කණුවල,පුවරුවල ලියා තිබේ.පසුව එයට තාලය වැනි අමුද්‍රව්‍ය එකතු වී මිහිරි කටහඬවල්වලින් ප්‍රාණය ලබන පද්‍ය නිර්මාණ බවට පත් වෙමින් සෙල්ලිපිවල සනිටුහන් කරන්නට විය. එලෙස සනිටුහන් වූ දෑ පද්‍ය සෙල්ලිපි ලෙස ඓතිහාසික මුලාශ්‍රවල ඉඩහසර ලබා ගනිමින්  ඉතිහාස රචනයේ  තවත් පිටුවක් වර්ණවත් ව  සරසා තිබේ.
                 
                    ලක්දිව සෙල්ලිපි අතර පද්‍ය නිර්මාණ සහෘද හදවත්වල අදවනතුරු එක හා සමාන වටිනාකමකින් පවතී. එයට බලපා තිබෙන්නේ ඉහත දැක්වූ පරිදි සියලු කාව්‍යාත්මක ලක්ෂණ මෙම පද්‍ය සෙල්ලිපිවල ගැබ් වී තිබෙන නිසා ය.ක්‍රිස්තු පූර්ව අවදියේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ පද්‍ය නිර්මාණ සීගිරි ගීත දක්වා පැමිණෙන විට පැහැදිලි ප්‍රගතියකට ලක් වී තිබේ.රසවින්දනාත්මක චින්තනයක් විනිවිද දැකීමට හැකි මුලාශ්‍රයක් ලෙස  මේ අනුව පද්‍ය සෙල්ලිපි පෙන්වා දීමට හැකි වේ.




පරිශීලිත මුලාශ්‍රයන්
   
      පරණවිතාන සෙනරත්, “ලිපිමාලා 01”,   1972 ,සීමාසහිත ලේක්හවුස්   ඉන්ස්වෙස්ටමන්ට්ස් සමාගම, 41 ඩබ්ලිව්.ඒ.ඩී.රාමනායක                      මාවත,කොළඹ 10.

               අමරවංශ කොත්මලේ හිමි, “ලක්දිවසෙල්ලිපි”, 1969,ඇම්.ඩී.ගුණසේන සහ සමගම,කොළඹ 11.

      අමරසේකර ගුණදාස, “සිංහල කාව්‍ය සම්ප්‍රදාය”,1996,   විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව.

                    ජයතිලක කේ, “සීගිරි ගී නිර්මාණ”, 1989,ප්‍රදීප    ප්‍රකාශකයෝ,    කොළඹ12.

       මැදවත්ත ජයලතා, “සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය” ,  2001,ගොඩගේ සහ සහෝදරයෝ,කොළඹ 10.

     www. Diwaina. com